කතාවක් ලියාගෙන යාමට සෑම
සිද්ධියක්ම මතකයේ තිබිය යුතුය.කුමක්දෝ අහේතුවකට කතාවේ සමහර තැන් වල ඇත්තේ
හිස් බවකි.එය මාගේ මතකයෙන් මකා දැමුවාක් වැනිය.වරෙක මාගේ කතාවත්, මා මේ
ලියාගෙන යන කතාවත් පැටලැවෙයි.පලපුරුදු ලේඛකයෙකු නොවීම ගැන මම මටම දොස්
පවරාගනිමි..
පම්පෝරි ඕනෑ නැත...අපි කතාවට යමු..
ගැහැණු ළමුන්ගේ නේවාසිකාගාරයක් වන
රාමනාදන් ශාලාවේ පොදු කාමරය තුල ඇති බංකුවක ගැහැණු ළමෝ දෙදෙනෙක් බර
කතාවකය.එක් මුහුණක් නම් හොදට හුරු පුරුදුය..ඇය තාරිකා වූවාය..අනෙක් යුවතිය
කවුරුන්දැයි මමද නොදනිමි.සමහර විට තාරිකාගේ යෙහෙලියක විය හැක.ඇයගේ නම ගම
කුමක්දැයි නොදැන සිටියද ඇයද පියකරු යුවතියක් වූවාය..පුදුමයෙන්
නොබලන්න...ගැහැණු ලමුන් දෙදෙනෙකුට මිතුරු වීමට ගතවන්නේ විනාඩි 10 කටත් අඩු
කාලයකි..ඕපා දූප දොඩවන්නට ගතවන්නේ නම් තත්පරම කිහිපයකි.
එන්න...අපි හොරාට ඔවුන්ගේ කතාවට සවන් දෙමු..
ගැහැණු ළමුන්ගේ නේවාසිකාගාරයක් තුල අවේලාවේ සිටිමින් ඔවුන්ගේ කතා වලට සවන් දෙනු කවුරුන් හෝ දුටුවොත් ප්‍රශ්න ඇතිවන්නේ අපිටමය.
"ඉතින්...ඌ අත ඇරියෙම නැද්ද?"
අනෙක් යුවතිය තාරිකාගේ දෑස දෙස බලමින්ම ඇසුවාය.
තාරිකා රතුවී තිබේ.පිජාමා ඇඳුමේ රෝස පැහැය නිසා ඇයගේ මුහුණේ රතු පැහැය අඳුරේ සිට බලන්නෙකුට වුවද දැකගත හැකිය.
"පිස්සුද..එයා කොහේ අත අරින්නද...එයාත්
වඩා තදින් මම අත අල්ලගෙන..මම අඬපු නිසාද දන්නෑ නිර්මාලුත් බයවෙලා ඉඳියේ..ඒ
අස්සේ අර පොට්ට සින්නා තව මොනවද කියනවා...ඌ නම් යකෙක් වගේ හසිනි..හෙට
යද්දි කොහොම හරි නියපොතු වල පාට ටික මකාගෙන යන්න වෙනවා..නැතිනම්...."
එතැනින් එහා වචන ටික ඇය ගිල ගත්තාය.ඉන් පසු වන දේ ගැන සිතීමටත් ඇය බිය වූවාය.
එම දෙබසින් මම එකක් දැන ගත්තෙමි..ඇයගේ
යෙහෙලියගේ නම හසිනිය.සෑම ප්‍රේම කතාවක මෙන්ම මේ කතාවේද කතා නායිකාවගේ
යෙහෙලිය තනිකඩ විය යුතුය..කතා නායිකාවන් අපිට මොකටද...ඇයගේ යෙහෙලිය ගැන අපි
ටිකක් සොයා බලමු...
"ඔය පොට්ටයා අද උදේ මාවත් අල්ල
ගත්තා...ඇඳගෙන ආපු ඇඳුම කොට වැඩියිලු...කොට වැඩි නම් අහක බලන් ඉන්නනේ
තියෙන්නේ...ඇයි වදේ..අපි කොටට ඇන්දම ඌට මොකක්ද තියෙන අමාරුව.."
"අමාරුව?"
තාරිකා උස් හඬින් යටි තොල උඩි තොලෙන් සපා ගනිමින් ඇසුවාය.
තත්පරයක නිහැඬියාවකට පසු මුලු නාදන් ශාලාවම තරුණ ගැහැණු ළමෝ දෙදෙනෙකුගේ සිනහා හඬින් පිරී ගියේය.
එම දෙබස් සවනට වැටෙනවාත් සමගම තාරිකාගේ යෙහෙලිය ගැන මාගේ හිතේ තිබූ අංගු මාත්‍රයක ඇල්ම මම අකුලා ගන්නෙමි..හිතවත් පාඨකය...ඔබට ඇබෑර්තු ඇත.
ඔවුන්ගේ නොහොඹිනා විහිළු වලට ඔවුන්ටම සිනා සීමට ඉඩ දී අපි පිරිමි ළමුන්ගේ නේවාසිකාගාරයක් වන අක්බාර් ශාලාව වෙත යමු.
නවක සිසුන්ගේ ආගමනය නිසා නේවාසිකාගාර ආපනශාලාවේ ආහාර පෝලිම වෙනදාට වඩා දිගෙන් වැඩිය.
පෝලිමේ පිටුපසින්ම නිර්මාල් සිටියේය.
"නෑ බං නිපුන්,ඒකි ගම්පහලු බං.නම තාරිකා"
ඉදිරිපස සිටි මිතුරාට ඇසෙන්නට ඔහු කීවේය.අප යන්තම් ප්‍රමාද වූ නිසා මුල් දෙබස් අපට මග හැරී තිබේ...
"ගම්පහ උනාට ඒකි නිකන් කොළඹ වගේනේ බං.දැක්කේ නැද්ද පොශ් ගතිය."
"ගම්පහ කියන්නෙත් කොළඹනේ බං"
"ඔව් ඉතිං ගාල්ලේ උන්දලට ගම්පහ කියන්නෙත් කොළඹ වගේ තමා"
"පල පල යන්න"
මිතුරෝ දෙදෙන සිනාසුනෝය..
කෑම පෝලිම අවසන් වන තුරු ඉලංදාරි වදන් ඔවුන්ගේ මුවෙන් ගිලිහෙමින් තිබුනි.
විශ්ව විද්‍යාලයේ හැම පිරිමි
නේවාසිකාගාරයකම නවක සිසුවෝ , සිසුවියන් ගැන කතා කරමින් සිටියෝය..
යුවතියන්ගේ නේවාසිකාගාර තුල එහි අනෙක් පැත්ත සිදුවෙමින් තිබුනි.නේවාසිකාගාර
ගොඩනැගිලි බිත්ති වලට කටවල් තිබුනා නම් , මෙය විශ්ව විද්‍යාලය ආරම්භ කල
දින සිටම සිදුවන්නක් බව කෑ ගසා කියනු ඇත.
මේ අතර කොහේදෝ බෝඩිමක උපැස් යුවලක් පැලඳගත් තැනැත්තෙක් පොතක් කියවමින් සිටියේය...
සමාවෙන්න..ඔහු පොතේ ලියමින් සිටියේය...
"යුගයේ අප්සට්ම රචකයා ලියන මොන්ගල්ම නවකතාව තාම ඉවර නැද්ද බං.. "
කාමරයට ඇතුලු වෙමින් සිටි මිතුරා ඔහුගෙන් විමසුවේය.
තවම නෑ යැයි කියන්නට මෙන් හිස වරක් දෙපසට වැනූ ඔහු නැවත ලිවීම ආරම්භ කලේය.
"උඹ ඕක ගිය අවුරුද්දේ අපි කැම්පස් ආපු
දවසේ ඉඳලා ලියනවා..අපි මෙහෙන් යන දවස වෙනකල්ම ලියාවි.ඕක ලියනවට වඩා හොඳ
නැද්ද හැමදාම ලෙක්චර්ස් ගිහිල්ලා නිදිමතේ හරි අහගෙන ඉඳිය නම්"
මද සිනහවකින් යුතුව තම මිතුරා දෙස බැලූ ඔහු කතා කරන්නට පටන් ගත්තේය.
"හරි නිසල්...දැන් බලපන්...ලෙක්චර්ස් ගියා
කියලා උඹගෙයි මගෙයි වෙනසක් තියෙනවද? උඹත් සබ්ජක්ට්ස් දෙකක් රිපීට් මමත්
සබ්ජක්ට්ස් දෙකක් රිපීට්"
"ඒ මට කඩ්ඩ බැරි නිසා ඩෝ.උඹට කඩ්ඩත් පුලුවන් වෙලා මෙහෙම කරගන්න එක ගැන මට දුකයි මලිත්.."
"ඔය අඳෝනාව නවත්ත ගනින්කෝ..මට කතාව ලියන්න තියෙනවා...."
ලියමින් සිටි පොත දෙසට හිස පහත් කරගත් ඔහු තවත් වචන කිහිපයක් ලියුවේය..පෑනෙන් දෙවරක් මේසයට තට්ටු කර හිස අතින් පිරි මැද්දේය.
"නිසල්"
"ම්ම්ම්..."
"උඹට ඒ කෙල්ලගේ විශේෂත්වයක් පෙනුනේ නැද්ද?"
"කෙල්ල? මොන එකීද?"
"අර තාරිකා"
"පෙනුනා පෙනුනා....අනිත් ජුන්නියෝ එක්ක තිබ්බම ඒකිගේ හෙනම විශේෂත්වයක් පෙනුනා"
"මම සිරාවටම අහන්නේ බං"
"අපිට නොපෙනුන මොකක්ද උඹට ඒකිගේ පෙනුනේ..යකෝ..උඹේ කන්ණාඩි දෙක දාගත්තාම ඇදුම් විනිවිද පේනවද?"
නිසල් සිනහසුනේය...ඇඳ රෙද්ද සදමින් තව තවත් සිනහසුනේය.
එය එක් විහිළුවක් පමණි.උපැස් යුවල දමා සිටියාට ඇදුම් විනිවිද පෙනෙන්නේ නැත.එය මම අත්දැකීමෙන්ම දනිමි.
"තාරිකා සජිනි වගේ බං.ඒකි දකින දකින වෙලාවට මට පේන්නේ සජිනි"
"සජිනි? උඹ ලියන අප්සට් නව කතාවේ දුෂ්ඨ පෙම්වතීද? ඔහොම හිටපන් බලන්න.."
මේසය මුල්ලේ තිබූ මලිත්ගේ මුදල් පසුම්බිය වෙත අත දිගුකර එය අතට ගත් නිසල් පසුම්බිය විවෘත කර බැලුවේය.
හනික මා සමග එන්න...අපි ඔහුට පිටු පසින් ගොස් එය තුල තිබෙන්නේ මොනවා දැයි බලමු..
දහයේ විස්සේ කොල කිහිපයක් අස්සෙන් කාගේදෝ
රුවක් සහිත ඡායාරූපයක් ඒ තුල තිබුනි.එය එක් අතකින් ඉවතට ගත් නිසල් මදක් ඒ
දෙස බලා සිටියේය.පසුව ඔහු එය හිරු එලියට අල්ලා බැලුවේය.වතුර ජෝගුව අතින්
ගෙන ඡායාරූපය එහි ඔබන්නට ගියේය..
"මට නම් මේ කෙල්ල තාරිකා වගේ පේන්නේ
නෑනේ..වතුරේ දාලා පෙනුනෙත් නැති නම් උඹගේ කන්ණාඩි වල අවුලක් මචෝ.හෙටම
ගිහින් ආයේ ඇස් පෙන්න ගනින්.."
හෙතම සිනා සෙමින්ම පැවසීය.
"නෑ නිසල්...තාරිකා ටිකක් හරි සජිනි වගේ.. ඒකි හැසිරෙන්නෙත් ටිකක් ඒ විදිහටමයි..මොනදේටත් බයේ ඉන්නේ කොයි වෙලෙත්.."
"බය?..ඕකුන්ගේ බය යාවි රැග් එක ඉවර උන ගමන්ම.බලපන්කෝ ඕකුන් අපේ කරෙත් නගින්න එයි ඊට පස්සේ.."
ඇඳ රෙද්ද තවත් වරක් ගසා දමා නිසල් ඇඳට ගොඩ විය.
"ඔය මගුල ලියලා ඉවර වෙලා ලයිට් එක
නිවපන්..මහ රෑ තිස්සේ ලයිට් දාලා තියනවා දැක්කොත් බෝඩිමේ ගෑනි තව රුපියල්
500 කින් විතර ගාන වැඩි කරාවි."
"ලිව්වා ඇති...මටත් නිදිමතයි.."
විදුලි බුබුල නිවා දැමූ මලිත් ඇඳට පැන්නේය..
මුළු කාමරයම අඳුර විසින් ගිල ගත්තේය...
---------------------------------------------------------------------------------
මතකය--
හෙට උදේවත් ගෙදර යන්න ඕන..එහෙම
හිතලා ඇදුම් ටික pack කරන්න ගත්තා විතරයි phone එක ring වෙන්න ගත්තා..මේ මහ
රෑ call කරන්න මුන්ට පිස්සුද මන්දා..රෙදි bag එක පැත්තකින් තියපු මම phone
එක ලගට ගියේ කුනුහර්ප දෙකක් විතර කියාගෙනම..ඒත් phone එකේ display එකේ
කෝල් කරන කෙනාගේ නම දැක්කට පස්සේ කියපු කුනුහර්ප ටිකත් ඔක්කොම ගිලගන්න
හිතුනා..
"හෙලෝ ඉශාරා..මාස හතරකට විතර පස්සේ මාව එක පාරටම මතක් උනේ මොකද?"
"ඇයි අයියේ මෙහෙම කරන්නේ"
මම අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවා වෙනුවට එයාගෙන් තවත් ප්‍රශ්නයක්..
"ඇයි..මම මොකක්ද ඔයාට කරේ."
"ඇයි අපේ කතාව ඔයා blog එකේ ලියන්නේ.."
"අපේ කතාව?"
මම ඇහුවේ හිනාවෙලා..
"ඔයාමනේ නංගි කිව්වේ අපිට කතාවක් නෑ කියලා.."
"ඇයි දෙයියනේ මට මගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ.."
"මම ලියන්නේ ඔයාවත් මමවත් ඉන්න කතාවක්
නෙමේ..මේක සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය මිනිස්සු ඉන්න කතාවක්..අනික ඔයාමනේ
කිව්වේ ආයේ කවදාවත් මම ලියන ඒවා කියවන්නේ නෑ කියලා..ඉතින් ඇයි කියවන්නේ?"
"මම කියෙව්වේ නෑ...මට හසිනි කිව්වා..."
"ආ...නියමයි.....හසිනි...මම මේ ලියන කතාවේ
කෙල්ලගේ යාලුවට දාන්න නමක් හිත හිත ඉඳියේ...හසිනිට කියන්න මේ මොහොතෙම මගේ
මතකෙට ආවට ස්තුතියි කියලා...අද ඉදලා මම ලියන කතාවේ තාරිකාගේ යාලුවගේ නම
හසිනි.."
"වෙනදා වගේ විහිළු කරලා මේ ප්‍රශ්නෙන් පැනලා යන්න එපා සහන් අයියේ..මට මගේ පාඩුවේ ඉන්න දෙන්න...ප්ලීස්.."
"ඔයා ඔයාගේ පාඩුවේ ඉන්න..මම මගේ පාඩුවේ
ලියන්නම්..කතාව ලියන්න පටන් ගන්නකොටම කිව්වා ඉශාරා,මේක මගේ කතාව නෙමෙයි
කියලා..අනික ඔයාගේ නම මම කොහේවත් ලියලා නෑ..මම ලියන්නේ මලිත් , නිර්මාල් ,
තාරිකා ඉන්න කතාවක් මිසක් , සහන් , තාරක , ඉශාරා ඉන්න කතාවක් නෙමේ...තාරක
මල්ලිටත් ඒක මතක ඇතුව කියන්න...බ්ලොග් එක කියවන්නේ නැතුව ඔය දෙන්න සතුටින්
ඉන්න..මම තව මාස දෙකයි කැම්පස් එකේ ඉන්නේ..ඊට පස්සේ මගේ අවුරුදු හතර
ඉවරයි..යන්න කලින් මට කතාව ලියලා සම්පූර්ණයෙන් ඉවර කරන්න ඕන.."
කෙල්ල හිරවෙලාද කොහේද...වචන එන්නෙත් නෑ වගේ...
"දැන් හිතෙනව නම් මට කෝල් කරේ අපරාදේ
කියලා ආයේ කෝල් කරන්න එපා..ඔයා මගේ ගැන මොනවා හිතුවත් මම කතාව ලියනවා..ඔයා
මාව අතරමං කලා වගේ මගේ බ්ලොග් එක කියවන අයව අතරමං කරන්න මට බෑ...සතියක්
තිස්සේ හිතාගෙන ඉඳියා කතාවේ දෙවනි කොටසක් ලියන්නේ නෑ කියලා..ඒත් අද
ලියනවා...අද නෙමේ මේ දැන්ම ලියනවා දෙවනි කොටස...ඔයා කියවන්න ඕන
නෑ...කියවන්න ඕන තරම් කට්ටිය ඉන්නවා..."
Phone එක cut කරාද නැති නම් පොලවේ ගැහුවද කියලා හිතා ගන්න බෑ..කොහොම හරි call එක ඉවර වෙලා තිබුනා...
